Thursday, 22 March 2018
කලාපේ ලියුම
මාසෙ අන්තිම
පඩිය අරගෙන
ගෙදර යන්නේ
කවදද
ඇඟිලි ගනිමින්
බලං ඉන්නේ
අම්මෙ නුඹෙ රුව
දකින්ට
නංගිගේ
ඉගෙනුමට
අම්මගෙ බේත් ටික
අරගන්නට
ලබන සතියේ
එනවා අම්මේ
රහට හදපං
කන්නට
ජුකී ඕලොක්
මැසින් අතරේ
ගෙවිලා යන මේ
ජීවිතේ
ලෙඩ නිවාඩුත්
නැතුව මැසිමට
කඳුලේ බර දෙන
වෙලාවේ
ටාගට් ඔපිසර්ගේ
බැනුමෙන්
දෙකන් පිරෙනා
හැමවෙලේ
සැනසුමක් මගේ
හිත තෙමන්නේ
සිහිවුනාමයි
නුඹගේ සෙනේ
බෝඩිමේ අපෙ
දහ දෙනෙක් එක
කාමරේකට
ඉන්නවා
පස් දෙනෙක් රෑ
වැඩකරනකොට
පස් දෙනෙක් නිදි
ගන්නවා
කෑම බීමත්
මාසේ දවසට
අපි බෙදාගෙන
හදනවා
රජ බොජුන් වගේ
ලූණු සම්බල්
බත් එක්ක අපි
හදනවා
කඩේ අයියා
ෂේප් හින්දා
ණයට බඩු ටික
ගන්නවා
ඒ උනත් ඒ
මිනිහගේ ඇස්
හොරෙන් රහසක්
කියනවා
චතූ ගේ අම්මගේ
සැත්කම
තිබුණ හින්දා
ගිය මාසේ
බෝඩිමේ පන්දාහ
ගෙව්වේ
නමදෙනා අපි
එක්වෙලා
කෙල්ලො සෙට් එක
ඒ නිසාමද
මන්දා දැන්
විරසක වෙලා
පොතේ ණය ටික
බේරගන්නට
සල්ලි දෙන්නෑ
නෑ කියා
සල්ලි වැඩිපුර
හම්බ කරනට
පාට් ටයිමුත්
තියෙනවා
ෂිෆ්ට් එක උදේ
කවර් කරලා
රෑට ඒවට
දුවනවා
කස්ටමර්ලට
කැමති විදිහට
කෙල්ලො ඒ වැඩ
කරනවා
මාසේ අන්තිම
අපි හොයනවාගේ
දෙගුණයක් උන්
හොයනවා
සිරුරෙ උකසින්
සල්ලි හොයලා
අපා දුක් උන්
විඳිනවා
මෝටර් සයිකල්
කොල්ලොනම්
මෙහෙ එමට අම්මේ
ඉන්නවා
බෝඩිමට වැඩ
ඇරිලා එනකොට
මගත් රැකගෙන
ඉන්නවා
ආදරෙයි මයෙ
නංගි කියලා
සුරතලෙන් බස්
දොඩනවා
අම්මගේ අවවාද
තාමත්
මගේ හිත තුල
තියෙනවා
අවුරුද්දත් ලඟයි
වාගේ
කොහා ඒ බව
කියනවා
බෝනසුත් දැං
ලැබෙයි අම්මේ
හිතේ සතුටක්
තියෙනවා
අම්මටයි නංගිටයි
ඇඳුමුත් අරං
මං ඔහෙ
ආවම
වහලේ ටකරං
හෙවිලි කරමු
දැංම මාමට
කියන්න
හිතේ හැටියට
අම්මගේ
තුරුලට වෙලා
දොයියන්නට
අම්මේ ලොකු දූ
එනවා එතකං
සමිඳු සරණයි
ඔබලට
- නාචි -
Photo credit goes to original photographer.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment