Thursday 22 March 2018

පේමන්ට් එකේ කතාවක්





ගිනි කාස්ටක අව්ව
හම පුපුරු ගස්සාන
ඇට මිදුළු දක්වාම
රත්කරං යනවිටදි

ඉස්පිරිතාලෙට කිට්ටු
නිල්වලාවට උඩින්
යන පාලම දූලි
වැසිවලින් නෑවෙද්දි



පාලම උඩින් යන
වෛවාරණ ඇඳුම්
ඇඳගත්ත පිංවතුන්
ගැන ගැනයි මං උන්නෙ

රුපියලක් ගානේ එක
පිංවතෙක් දුන්නොතිං
කලෙක්ෂන් එකෙ ගාන
හද හදයි මං හිටියෙ

ගිය සතියෙ ලොක්කගෙන්
කෑවේ කණ පුපුරන්න
කලෙක්ෂන් එක මදියි
කියලායි ඒ සතියේ

මේ සතියෙ කලෙක්ෂන්
සරුසාර කරගන්න
කකුල් දෙක නැතිවෙච්චි
විදිහටයි මං ඉන්නෙ

ගිය මාසෙ මුල් සතියෙ
තව අලුත් සෙට් එකක්
ලොක්කා එක්කං ආවේ
බස් වලට නග්ගන්න

පාර අයිනේ ඉන්න
අපිට වාගේ නොවෙයි
බස්වලට නැග්ගාම 
උන්ටනං හම්බෙන්නෙ

මාසෙ මුල අපිට දෙන
බජට් එක කවර් කර
ගන්න අපි හැමදාම
උන්ගෙන් උදව් ගන්නෙ

අලුතින්ම ජොබ් එකට
ආව සෙට් එක අතරෙ
ගැබිණි අම්මෙක් හිටියා
අම්පාර ගම වෙච්චි

මිනිහා දාලා ගිහිං
තව පුතෙක් ඉන්නවලු
මාස දෙකකට වරක්
ගම පැත්තෙ යනවාලු

සොච්චමෙන් හම්බෙන
ලොක්කගෙන් මාසෙකට
පොඩි එකා සනසන්න
බඩුත් ගෙන යනවාලු

බස්වලට නැග්ගාම
දුක ටිකක් කිව්වාම
පිං කැමති ඇත්තන්ට
දුක ටිකක් දැනුනාම

කලෙක්ෂන් එක සරුයි
ලොක්කටත් හරි හැපියි
ගුටි නොකා බේරෙන්න
ඒක හොඳටම ඇතියි

ඒ උනත් මට අයිති
පේමන්ට් එක තමයි
පිං කැමති ඇත්තොනං
මේ හරියෙ හරි අඩුයි

හවස හය පහුවෙලා
ටිකක් ගත වෙලා යද්දි
පිට්ටනියෙ කෙලවරට
හෙමි හෙමින් අපි යනවා

කකුල් දෙක තිබෙන මුත්
නැති වගේ පෙන්නාලා
ඒ යන අතරෙදිත්
කලෙක්ෂන් හොයනවා

අඳුර ටික ටික එද්දි
ලොක්කාගෙ සුදු පාට
වැගන් එක පැමිණෙන්නෙ
අපිව එක්කං යන්න

පොඩි එවුං අට දෙනයි
අන්ධයන් තුන් දෙනයි
කොර එවුන් පස් දෙනයි
ගැබිණි අම්මයි මමයි

සේරමලා දහ අටයි
ටවුන් එකටම ඇතියි
ටවුමේ මුලු කලෙක්ෂන්
එක ලොක්කගෙ තමයි

අදත් මං බජට් එක
කවර් නොකරපු හින්දා
ලොක්කගෙං අදත් ගුටි 
පූජාව සුවර් ෂොට්

ඇලියොන් එකේ දොර
බාගෙකට ඇරන් පොර
බ්ලැක් ලේබල් එකක්
හෙමිං හිස් කරනවා

ඒ අතරෙ අපේ අද
කලෙක්ෂන් එක සරුද
කියා බලනට අපේ
මලුත් චෙක් කරනවා

ඊලඟට මගේ මල්ල
අදත් ගුටි කාගෙනම
හෙටත් උදයේම මං
කලෙක්ෂන් හොයනවා.

- නාචි -

Photo credits goes to original photograpger.

No comments:

Post a Comment