Thursday 22 March 2018

පෙනුම




මාතර තංගල්ල
බස් එකක මුලසුන
අසරණව හිඳ සිටින
මවකී වයසක

ඇගේ අසලම අසුන
සැරපරුෂ කම පිරුණු
මැර පාට කම පෙනෙන
තරුණයෙකි මහත
ඊට පිටුපස අසුන
ගුණගරුක කම පිරුණු
ටයි පටිය බැඳගත්ත
මහතැනකි හිඳ සිටින
මොහොතක් ගතවෙද්දි
සෙනඟ තව වැඩි වෙද්දි
රියදුරා බස් රථය
පණගැන්වුවා යන්න
හෙමි හෙමින් බස් රථය
ගමන් ඇරඹුව විටදි
ටිකට් මැසිමත් රැගෙන
ආවේ කොන්දොස්තරය
පැමිණ ඔහු මුලසුනට
ඉල්ලුවා මවගෙන්ම
ටිකට් පත රැගෙන
මුදල් මට දෙන ලෙසට
අසරණව ඔහු දෙසට
බැල්මක් හෙලූ මව
පැවසුවා බැගැපත්ව
මුදල් නොමැති බවට
කොන්දොස්තර තැනට
වූවා ආරෑඪ
සාප කරමින් මවට
අණකලා රියදුරුට
නවතපං බස් රථය
මේ ගෑනි බස්සන්ට
පව්දෙනවා අප හටත්
මේ උදේ පාන්දර
නොරිස්සුම් බැල්මකින්
ඒ මව දෙස බලා
වෙලාවත් බල බලා
පුපුරයි ටයි මහත
මේ පරක්කුව කිමද
අද්දන්න බස් රථය
බස්සන්න මේ මවව
ඉක්මන්ට මෙතනින්ම
පවසමින් නැගිටගෙන
ගොරහැඩිව කෝපයෙන්
අත පයද දිගුකරන්
කෑගසයි මහ හඬින
අසරණව කඳුළු කැට
දෙනෙතින් වැටෙද්දී
බසයෙන් බැහැගන්න
නැගිටගත්තා ඒ මව
මේ දැකලා ඇගෙ අතින්
අල්ලාන නවතාන
සිටියේ වෙන කව්ද
මැර පාට කොල්ලා මිස
කොහාටද යන්නෙ
අම්මා විමසමින
නැවත ඇය පෙර අසුනේ
වාඩිකරවූවා ඔහුම
කොන්දොස්තර වෙතට
දිගුකරලා ඔහු මුදල
ඉල්ලුවා ටිකට් පත්
දෙකක් තංගල්ලටම
ටයි පටිය රජකරන
ලෝකයක් තිබුණාට
කව්දැයි මෙතැන රජ
සිතුනා ඒ දුටු මෙමට
- නාචි -

No comments:

Post a Comment