Thursday 22 March 2018

කටවුට්





කොළඹ ඉදං පැය තුනක් හතරක් එකම විදිහට වාඩිවෙලා ඇවිත් බස් එකෙං බැස්සම හරි සනීපයි. අඹගහ හන්දිය හෝල්ට් එකෙං බැහැලා ඇගේ පතේ හිරි අරින ගමං මං එහෙම හිතුවා. ලග ලග එන ජන්දෙට මනාප බුරුතු පිටිං අහුලගන්න වෙන්න ඇති කන්ද පල්ලෙහා තිබ්බ කඩේ ගාව ගහලා තිබ්බෙ මහ විසාල කටවුට් එකක්. දත් තිස් දෙකම පෙන්නං එකේ අත් දෙක වැදගෙන උන්නේ ගමේ දොස්තර මහත්තයගේ පුතා චමිල අයියා. මට වඩා අවුරුදු දෙක තුනක් වයසින් වැඩිමල් චමිල අයියා හම්බෙලා තමයි මාත් ඒ දවස්වල කැම්පස් පොත පුරවන්න කලිං උපදෙස් එහෙම අරගත්තෙ.
එතකොටත් එයා කැම්පස් එකේ දෙවෙනි හරි තුන්වෙනි හරි අවුරුද්දෙ හිටියෙ. හම්බෙන්න ගිය දවස් දෙක තුනේම අමුතු බර වචන දාපු ඒ දවස්වල මෙලෝ දෙයක් නොතේරුණු කතන්දර ගොඩක් මගේ කනට දාන්න චමිල අයියා අමතක කරේ නෑ. ධනපති ක්‍රමය,පීඩිත පන්තිය,සිස්ටම් එක චේන්ජ් කිරිම වගේ වචන මට මතක තිබ්බෙ ඒවා චමිල අයියගේ කටෙං නිතරම පිටවෙච්ච හිංදා. කොහොමින් කොහොම හරි කැම්පස් ගිය මමත් ඒ වචන වල තේරුම් පස්සෙ කාලෙක දැනගත්තා. චමිල අයියා වගේම හම්බෙන පොඩි එවුන්ටත් පොඩ්ඩ පොඩ්ඩ ඒ දේවල් කියලා දෙනන උත්සාහ කරා. ඒත් චමිල අයියා සමහරවිට කැම්පස් ගිහිං ඉවර උන හිංදා වෙන්න ඇති එයාගේ කටවුට් එකේ කතිරෙට කලිං තිබ්බේ නං ධනපති යැයි සම්මත රටේ පාලක පක්ෂේ ඡන්ද සලකුණ. ඒක දිහාවේ බලාගෙන මුවගට නැගිච්ච හිනාවත් අරං මං අරං ආපු බෑග් දෙකත් තුනත් කර ගහං කන්ද නගින්න පටං ගත්තා.

"ආ..... චූටි මහත්තයො..... ඡන්දෙට නිවාඩු හම්බුනැයි....."
බුලත් කහට ගැහිච්ච හිනාවක් මුවේ පුරෝගෙන අඹගහ හන්දියෙ කඩේ පැත්තේ ඉදං මගේ දිහාට ආවේ මහතුං මාමා.දන්න කාලේ ඉදංම ගමේ පොල් ගස් වල බඩගාපු මහතුං මාමා ගමේ හැම ගහකම උස නිච්චියටම කියන්න පුළුවං සමතෙක් විත්තිය ගම්මු කිව්වෙ කට කතාවට නෙවි.

"කෝ... දෙන්නකෝ පුංචි මහත්තයො බෑග් එක" හෝදගන්න කම්මැලිකමට කිලිටු වෙච්ච රෙදි පුරවං ආපු කළුපාට ට්‍රැවලිං බෑග් එක බලෙංම වගේ මහතුං මාමා අතට ගත්තා.

"පොඩ්ඩක් හිටින්නකෝ... මං බයිසිකලේ තල්ලු කරං එන්නං...." බෑග් එකත් අරගෙනම මහතුං මාමා කඩේ පැත්තට දුවගෙන ගියා.

"හවස් වෙලා මං ඒ පැත්තෙ යන්න හිටියෙ. බේබි මහත්තයා පණිවිඩයක් එවලා තිබ්බා එන්න කියලා" මහතුං මාමයි මමයි හිටියෙ කන්ද නගින ගමං.. මගේ බෑග් එක මහතුං මාමගෙ බයිසිකලය උඩ තිබුණා. කාලෙකිං කන්ද නැග්ගෙ නැති හිංදද මංදා මට දැනුනෙ හරි මහන්සියක්...

"ඉතිං... මහතුං මාමෙ.... ඡන්දෙ එහෙම ජයයි වගේ නේ මෙහෙට..." පිටිපස්ස හැරිලා ආපහු පාරක් චමිල අයියගේ කටවුට් එක දිහා සිනා මුසු මුහුණෙං බලන ගමං මං ඇහුවා.

"අපිට මොන ජයක්ද චූටි මහත්තයො.... ඔය කව්රු ආවත් අපිට එකයි...." මහතුං මාමා බුලත් කෙල පාරක් පාර දිහාට ගැහුවා.

"දොස්තර මහත්තයා එහෙම බැහැලා චමිල අයියගෙ ඡන්ද ව්‍යාපාරෙ කරනවා ඇති මේ දවස්වල නේ.."

"චමිල මහත්තයත් පහුගිය දොහෙ ප්‍රශ්නයක් දාගත්තා පොලිසියත් එක්ක... "

"ඒ මොකද්ද ඒ..." හිත ඇතුලෙං තේරුං කරන්න බැරි අමුතු සතුටක් ඔද වැඩෙන ගමං මං ඇහුවා.

"ඔය කටවුට් එක ඔතන ගහන එකට ඕඅයිසී මහත්තයා ප්‍රශ්නයක් දැම්මා. ඕක ඔතන ගැහුවම කන්ද උඩ ඉදලා එන වාහන පාරේ ඉදං හරවන වාහන වලට පේන්නැති හිංදා අනතුරක් වේවිය කියලා..."

"ඔව් හැබැයි... ඒකත් ඇත්ත තමයි නේද....??" මං නැවතිලා ආපහු කන්ද පාමුල කටවුට් එක දිහා බැලුවා.

"පස්සෙ මන්ත්‍රීතුමා කතා කරලා ඕඅයිසී මහත්තයට මොනා හරි කියලා...ප්‍රශ්නෙ විසදං තිබුණා..."

"ඒ වුනාට මාමේ මොකක් හරි කාට හරි උනොත් තමා කාට කාටත් තේරෙන්නෙ..." මෙච්චර වෙලා අතේ එල්ලං හිටිය ලැප් බෑග් එක මං බර වැඩි කමට කරට දාගත්තා.

"අපිට මොන වාහනද පුංචි මහත්තයො... මේ කබල් බයිසිකල් කෑල්ල මිස.. මෙව්වා ඉතිං සුවර් මේ අත් දෙකට…. ඔය කටවුට් කෑලි ගහලා ගන්න ඡන්ද වගේ නෙවෙයි….” මහතුං මාමා ආයෙම පාරක් හිනාවෙවි බුලත් කෙල පාරක් පාරට ගැහුවා.

"කෝ නගිමු එහෙනං බයිසිකලේට මෙතන ඉදං පැදතහැකි... " මහතුං මාමගේ කීමට බයිසිකලේට නැග්ගත් ඔරොත්තු දේවිද කියලා පස්සෙ හිතුනේ මාවත් දාං පදිද්දි සයිකලේ කෑ ගහන සද්දෙ ඇහිලා..

"බයවෙන්නෙපා පුංචි මහත්තයො... මේක ලේසියෙං කැඩෙන් නෑ.. මං ඉතිං හැමදාම උදේ හවස අපේ එවුං දෙන්නව දාං පදින එකනේ ඉස්කෝලෙට..." මගේ හිත වටහගත්තා වගේ මහතුං මාමා කිව්වෙ ආයෙම බුලත් කෙල පාරං ගහන ගමං..


වෙනදට වඩා සෑහෙන එලියක් ගෙදර තිබ්බෙ ලගදි ගාපු තීන්ත සාත්තුව නිසා කියලයි මට හිතුනේ.මාස තුනකින් විතර ගෙදරට ආපු මට ගෙදර අයගෙං හම්බුණේ උණුසුම් පිලිගැනීමක්. නංගියි මල්ලිලා දෙන්නයි මං අරං ආපු බෑග් අරගන්න තරග කරා...

"හා...හා.... අයියා රස්සාවකට ගියෙ නෑ... කැම්පස් එකේ ඉදං එන්නේ... " අම්මගෙ ගර්ජනාවට කට්ටියම පසුබැස්සා.

"ආ මේ මහතුං නේ.... බේබි මහත්තයා.... මෙහෙට ආවනං පොඩ්ඩක්" මගේ මුණ සිඹින ගමං අම්මා තාත්තට කතා කරා...

කන ගමං ඉදලද මංදා තාත්තා ආවේ අත පිහ දදා... "ම්.... කෙට්ටු වෙලා වගේ ආ..." මං දිහා බලපු ගමං තාත්තා කිව්වා.

මහතුං මාමා ගෙං බෑග් එක අරං තාත්තටත් හිනාවක් දාගෙනම මං කෙලිංම ගියෙ කාමරේට. ආපු මහන්සිය නැතිවෙන්නත් එක්ක ඇග පත හෝදගන්න නාන කාමරේට යනකොටත් මට තාත්තයි මහතුං මාමයි කතාකරන සද්දෙ ඇහුණා.

මං නාගෙන එලියට එනකොට මහතුං මාමා හිටියෙ නෑ... කාලෙකිං ගෙදර ආපුවම ලැබෙන සැලකිලි නම් අඩුවක් නැතුව මං අත්වින්දා….. සමහරවිට නංගිගෙයි මල්ලිලාගෙයි උපරිම ඉරිසියාවට මාව භාජනය ටවන්න ඇති…. අපි කනකොට තමයි තාත්තා විස්තරේ කිව්වේ.

පුංචි මල්ලිට ලොකු තාත්තා බයිසිකලයක් තෑගි දීලා. මල්ලි මේ පාර සමස්ත ලංකා කතික තරගෙ දිනුවට.ගියර් දාන සෑහෙන ගාණක් වෙන නියම බයිසිකලයක් දීලා තියෙනනෙත්… ඉතිං මල්ලි ගාව තිබ්බ පරණ බයිසිකලේ මහතුං මාමට දෙන්න තමයි තාත්තා එන්න කියලා තියෙන්නෙ මේ හවස.

"පව් ඒ මනුස්සයා... මං ගාව සල්ලි තිබ්බනං මං කලිං අරං දෙන්නෙ ඔය මනුස්සයට බයිසිකලයක්...."

" ඔව් දෙයියනේ... උදේ පාන්දර අර පැටව් දෙන්නවත් දාං ඔය කබල පාගන හැටි දැක්කම පපුව හෝස් ගාලා යනවා.. "

"දොස්තර මහත්තයලටත් නරකයි ⁣ගම
වටේ පෝස්ටර් ගහනකං දුප්පත් මිනිහෙක්ට උදව් කරා නං"

"ලොකු අක්කලා තරහා වේවිද
දන්නෑ බයිසිකලේ එයාලට දුන්නැතෙයි කියලා”

"පිස්සුද ඔහෙට අච්චර සල්ලි කුට්ටි ගොඩ ගහං ඉන්නෙ බයිසිකලයක් ගන්න බැරිද ඔච්චරට...."

“පව් අසරණයා… යනකංම පිං දිදී ගියෙ….”

“හ්ම්….”

“අපරාදෙ ඔහෙට ⁣බ්‍රේක් දෙකත් හදලමයි.දෙන්න තිබ්බේ…”

“ඔව් ඉතිං….කොයි.මේ කුඹුරු වැඩත් එක්ක හිරවුනානේ මාත්…”

අම්මගෙයි තාත්තගෙයි සාකච්ඡාව මට නින්ද යනකංම ඇහුණා.

දවස් දෙක තුනකට පස්සේ මහ හදිස්සියකිං ගෙදරට දුවං ආපු තාත්තා මෝටර් බයිසිකලෙත් හදිස්⁣සියෙං ස්ටාර්ට් කරං යන්න ගියා.

“ලොකු පුතේ….. අර⁣ පොල්කඩන මහතුං…..ඌ අඹගහ හංදියෙ කඩේ පල්ලෙදි දොස්තර මහත්තයලැයි කාර් එකට යටවෙලාලු…අනේ පව් අසරණයා. අපි දුන්න බයිසිකලේ ගිහිං තියෙන්නෙ….”
කම්මුලේ අත තියාන අම්මා කියද්දි ම⁣ට මහතුං මාමා කිව්ව කතාව මතක් උනා.

“අපිට මොන වාහනද පුංචි මහත්තයො... මේ කබල් බයිසිකල් කෑල්ල මිස.. මෙව්වා ඉතිං සුවර් මේ අත් දෙකට… ඔය කටවුට් කෑලි ගහලා ගන්න ඡන්ද වගේ නෙවෙයි….”

-නාචි-

No comments:

Post a Comment