Thursday 22 March 2018

ජතුමට්ඨිකා කියවීම…..







ඇත්තටම මොකද්ද ජතුමට්ඨිකාව කියන්නේ…?? මොකද්ද මේකේ තේරුම…??? ත්‍රිපිටකයේ විනය පිටකයේ භික්ඛුණි විභංගයට අනුව ජතුමට්ඨිකාව කියන්නේ කාන්තාවන් ලිංගික තෘප්තිය සදහා සිය ලිංගේන්ද්‍රය තුල රුවා ගැනීමට භාවිතා කරන මෙවලමක්. අපි දන්නා සරල භාෂාවෙන් කිවහොත් ඩිල්ඩෝ (Dildo) එකට තමයි ජතුමට්ඨිකාව කියන්නේ. ඉතිං මේ පොතට මොකද්ද එකේ තියෙන සම්බන්ධය…

මේ කතාව ආරම්භ වෙන්නෙම ගැටුමකින්. මාෂි/ මානුෂි නමැති දියණිය සිය මවගේ විශ්ව විද්‍යාල ජීවිතය තුල සමීප මිතුරෙකු වන පසුව අතුරුදන් වී නැවත පැමිණෙන මනුෂ නමැත්තා සමග සම්බන්ධයක් ඇතැයි සැකයෙන් ඇය හා ඇතිකරගන්න ගැටුමකින් කතාව ආරම්භ වන අතර මෙම ජතුමට්ඨිකාව පොත ප්‍රධාන වශයෙන් අවධි දෙකක් ඔස්සේ ගලායන කතන්දර දෙකකින් යුක්ත වෙනවා. මූලිකවම මාෂි/මානුෂි නම් දියණිය සහ ඇගේ මව සම්බන්ධ ජීවන අරගලය සම්බන්ධ වර්තමාන කතාවකින් සහ මාෂිගේ මවගේ අතීත සටහන් මත ගොඩනැංවෙන නොස්ටල්ජියානු මතක සමුහයක සම්ප්‍රයුක්තයක් ලෙස කතුවරයා මෙම කතාව ගොඩනන්වනවා.

වර්තමාන කතාව ගත්විට මාෂිගේ මව යනු නිල වශයෙන් ස්වාමි පුරුෂයා විසින් අත්නොහල නමුදු නොනිල වශයෙන් බටහිරකරණයට ලක්වූ එම ස්වාමි පුරුෂයා විසින් අත් හරින ලද ස්ත්‍රියක්. වසර ගණනක් වෙනත් රටක වාසය කල සිය මවගේ සහ ඇයගේ නෑදෑයන්ගේ පෙළඹවීම මත සහ විශ්ව විද්‍යාල ජීවිතය තුල ඇයගේ සිත දිනාගත් තරුණයාගේ හදිසි අතුරුදහන් වීම මත ඇතිවී ඇති මානසික වියවුල නිරාකරණය කරනු වස් එම පුරුෂයා එනම් අරුණ සමග විවාහ වීමට ඇයට සිදුවෙනවා. සිහින සහ බලාපොරොත්තු මිටි බැදන් යන ගමනක් අරුණගේ පුරුෂාධිපත්‍යය හමුවේ දියවී යන අයුරු කතුවරයා අපූරුවට විස්තර කරනවා. අරුණ සමග රමණය කර දරුවෙකු බිහි කිරීමේ නොතිත් ආශාවෙන් යුක්ත ඇයගේ සිහින බිඳිමින් ඔහු රමනයේදී හැසිරෙන ආකාරය සහ පසුව ඇය විසින් ඔහුට මත්වතුර පොවා තම අභිප්‍රාය ඉටුකරගන්නා නමුදු පසුකාලීනව ජීවිතයේ ඇයට මුහුණ දීමට සිදුවන ප්‍රශ්න හමුවේ ඇය ක්‍රියාකරන ආකාරය අනුව මේ ඇයමදැයි යම් කුකුසක් පන නගිනවා.

කෙසේ වෙතත් නුතන සමාජය තුල බහුල වශයෙන් දැකගත හැකි සිදුවීමක් මෙලෙස හුවා දැක්වීම සම්බන්ධව අනිවාර්යෙන් කතුවරයාට ප්‍රසංශාව හිමි විය යුතුමයි. විශේෂයෙන් පුරුෂයා හැර යාම පමණක් නොව වෙනත් නොමනා ක්‍රියාකලාප හමුවේ තනිවන ස්ත්‍රීන්ගේ ආත්ම ප්‍රකාශනයක් ලෙසත් මෙම පොත හදුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස දිනක් මම මාතර සිට නිවස බලා දුම්රියෙන් එන ගමනේදී මා අසල සිය දරුවන් සමග සිටි කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවකට ඇහුම්කන් දී සිටි මට වැටහුනේ ඔවුන්ගෙන් එක කාන්තාවකගේ ස්වාමි පුරුෂයා කිසියම් වරදකට බන්ධනාගාර ගත වී ඇති බවයි. නමුත් ඇය දුක් වන්නේ තම දරුවාගේ ඉගෙනීම පිළිබද මිස ස්වාමි පුරුෂයා ගැන නොවේ. අනෙක් කාන්තාව ඔහුට ඇප ලබාගැනීම පිළිබද විමසූ විට ඇයගේ පිළිතුර වූයේ “ ඔන්නොහෙ ටිකක් කල් ඉදපුදෙන්.... හැදෙන්න..” යන්නයි. එම සිදුවීම මෙම කතාවට ආදේශ කලොත් , මෙම කතාවේ ප්‍රධාන චරිතයද සිය ස්වාමි පුරුෂයාගේ රහස් සබදතාව ගැන දැනුවත් වුවද සිය දරුවාගේ අධ්‍යාපන කටයුතු නිසා සියල්ල හිත තුල සිර කරගෙන ජිවත් වීම දක්වන්නට පුළුවන්.

එමෙන්ම මෙහිදී පුරුෂයාගේ මගහැරීම හමුවේ අසරණ වන ඇයගේ යම් යම් මුදල්මය අවශ්‍යතා සදහා ඇයගේ නැගණිය උදව් කරන නමුත් ඒ වෙනුවෙන් යම් අවස්ථාවලදී ඇයට නැගණියගේ බස් වලට අකමැත්තෙන් වුවද එකග වීමට සිදු වෙනවා. එමෙන්ම ඇයගේ පරිවර්තන රැකියාවේදීද ඇයට මුහුණ දීමට සිදුවන අයුතු යෝජනා හමුවේ කතුවරයා සැබෑ ලෙසම සමාජය තුල දරුවෙකු සමග තනිවෙන කාන්තාවකට හිමි ස්ථානය ප්‍රශ්න කරනවා.

එමෙන්ම කුඩා කල සිටම පිය සෙනෙහස නොලද සහ නිවසේ පුරුෂ සෙවනැල්ලක් නොමැතිව හැදෙන මාෂි ගේ මානසිකත්වය සහ ඇයගේ නිදහස් හැසිරීම් රටාව තුල කතුවරයා පෙන්නුම් කිරීමට උත්සහ දරන්නේ පුරුෂාධිපත්‍යයෙන් වියුක්ත වූ රාමුවක් තුල කාන්තාවකට ඇති නිදහස යි.

එමෙන්ම තනිවී කල් ගෙවන ස්ත්‍රියක හමුවේ දෘශ්‍යමාන වන විවිධ පාරවල් හමුවේ ඇයගේ ක්‍රියාකලාපය පොතේ මුල්ම සිදුවීම වන මනුෂ සම්බන්ධ සිදුවීමෙන් සහ ජතුමට්ඨිකාව සම්බන්ධ සිදුවීමෙන් කතුවරයා පැහැදිලි කිරීමට උත්සුක වෙනවා.

අවසාන වශයෙන් අගය කල යුතුම කරුණ වන්නේ ස්ත්‍රී දෘෂ්ටි කෝණයකින් මෙම කතාව ගොඩනැංවීමේදී කතුවරයා පල කර ඇති කුසලතාවයි. නූතන සමාජය තුලත් අතීත සමාජ ක්‍රමය තුලත් නොවෙනස්ව මුද්‍රා තබා ඇති ස්ත්‍රිය පිළිබද දණ්ඩ නීති සංග්‍රහය සහ පුරුෂයා සතු නිදහස පිළිබද ප්‍රශ්න කරන කතාබහට ලක්විය යුතුම කෘතියක් ලෙස එවරස්ට් ආරච්චිගේ මෙම කුලුදුල් නවකතාව වන ජතුමට්ඨිකා හැදින්විය හැකියි.

“ පාඩුවේ හිටපු මට ඩිග්‍රිය කරගන්නවත් දෙන්නේ නැතිව අක්කයි නංගියි එකතු වෙලා පන්ගාර්තු කරපු බෑණා අන්න තව ගෑනියෙක්ව බඩ කරලා. අවුරුදු හතක් ලංකාවට ආවේ නැහැ.මාව බල්ලට දාමුකෝ අපේ පවුලේ හිටපු එකෙකුටවත් කැක්කුමක් තිබුනද ඌට කෝල් එකක් දීලා උඹ කරන්නේ අසාධාරණයක් කියලා කියන්න. ඒ මදිවට උගේ නෑයොත් කලේ මටම ඇහැ ගහගෙන හිටපු එක. හදිසියේ හරි මගේ පිරිමි යාලුවෙක් මේ ගෙට ගොඩවැදුනොත් උන් බලං හිටියේ ආපු එකත් එක්ක මං නිදිවැදුනද හොයන්න.මේ දරුවා ගැන හැගීමක් උන්ට තිබුනද…? තාත්තගේ ආදරය නැතිව අවරුදු ගාණක් හැදිච්ච මේ දරුවා ගැනවත්….? පිට එවුං බල්ලට දාමු. අඩු ගානේ අපේ එවුන්ටවත් ඒ හැගීම තිබුණද…? තොපි ඔක්කොටම ඕනි වෙලා තිබුනේ ලෝකෙට පරකාසේ විතරයි…”

- ජතුමට්ඨිකා ~ පිටුව 250 -

ජතුමට්ඨිකා | අහස ප්‍රකාශනයක් | මිල රු.500



- සසිදු විජේසිංහ (නාචි) -

No comments:

Post a Comment