Thursday 22 March 2018

ත්‍රිමාණ




මං
“මොකක්...... හෙටත් එන්න වෙන්නැද්ද ඔයාට... මොකද්ද නිපුන සති දෙහෙකට කලිං නේද හෙට මීට් වෙන්න දාගත්තෙ.. එන්න බැරි නං එදාම කියන්න එපැයි....”
නිදහසට කාරණා දාහක් එහා පැත්තෙං ඇහෙද්දි මං කට් කරා. එයා ලගකදි ඉදං ඔහොම්මයි...... මීට් වෙන්න දාගත්තොත් මොකක්ම හරි වැඩක්... මීට් වෙන්න ආවත් ඉන්නෙ වෙන සිහියක.... කතාකරන්නෙත් එයාගෙ ඒ බහුබූත. මට නම් එයාගෙ ඔය ෆිල්ම් කෙරුවාව එපා වෙලා දැංනම්. හදන ෆිල්ම් එහෙකුත් නෑ.. හැමදාම මොකක් හරි මගුලක් ඒ උනාට.. ඩිස්කෂන් කිය කිය එක එක විකාර වලට යන එකමයි එයාගෙ වැඩේ.. මාවත් එක්කං ගියා එයා දවස් දෙක තුනක්.. මට නං ඒ මිනිස්සු කියපු මෙලෝ දෙයක් තේරුන් නෑ... කොණ්ඩ වවාගත්ත.. ඩෙනිම් ෂර්ට් ඇදලා ලොකු කණ්නාඩි දාගත්ත එක එක මිනිස්සු ඇවිත් අමුතු කතාන්දර කිව්වා ෆිල්ම් ගැන... නිපුන නම් කටත් ඇරං අහං හිටියෙ... මං නම් යන්නෙ කොයි වෙලේද බලාන උන්නෙ...
⁣මට එකපාරටම කූඹියෝ තීම් මියුසික් එක ඇහුණා...
එයාගෙන් ආයෙම කෝල් එකක්... මං කට් කරා... ඇත්තටම මට එයත් එක්ක කතා කරන්න කිසිම උවමනාවක් තිබ්බේ නැහැ.
ෆෝන් එක ඇද උඩට විසි කරපු මං ලැප් එක අරං ෆේස්බුක් ලොග් උනා. හැමදාම වගේ හරිත් අයියගෙන් ගුඩ් මෝනිං මැසේජ් එක තිබ්බා. හාට් පේලියක් එක්කම...
හරිත් අයියා අපේ සීනියර් බැච් එකේ. මං මුලිංම කැම්පස් ගිය දවස්වල මට කාඩ් එක දැම්මේ එයා. සාමාන්‍යයෙන් කෙල්ලෙක්ට කාඩ් එක දාන්න ඕනි කෙල්ලෙක්ම හිංදා එයා එයාගෙ කාඩ් එක මට දැම්මෙ එයත් එක්ක නිතරම ඉන්න අක්කා ලව්වා. මං මුලිං හිතං හිටියෙ ඒ දෙන්නා කපල් එක කියලා. ඒත් එයා මට රික්වෙස්ට් එකක් එවලා මාත් එක්ක චැට් කරන්න ගත්ත දවසේ ඉදලා තමයි දැනගත්තෙ පොර තාම සිංගල් කියලා.
කැම්පස් එන්න කලිං එයාට එෆෙයාර් එකක් තිබිලා තියෙනවා. පස්සේ ඒක බ්රේක් වෙලා. මිනිහගෙ අමුතු කියුට් ලුක් එකටද මංදා මං පට්ට ආස උනා එයා එක්ක මැසේජ් කර කර ඉන්න. නිපුනත් එයාගෙ ෆිල්ම් ලෝකෙ එක එක විකාර කර කර ඉන්නකොට මගෙ පාලුව මං මකාගත්තෙ හරිත් අයියත් එක්ක කතාකරලා. සමහර දවස් වලට අපි රෑ වෙනකං කෝල් කරා. මං වැඩියම එහෙම කරේ නිපුනට ඒක මාට්ටු වෙලා එහෙමවත් මං ගැන කෙයා කරයි කියලා එයා. ඒත් කවදාවත් ඒක උනේ නෑ…..
නිපුනත් එක්ක තිබ්බ හිතේ තරහටද මංදා මං හරිත් අයියට රිප්ලයි මැසේජ් එක යැව්වේ කවදාවත් නැතුව කිස් පේලියක්ම ටයිප් කරලා... මැසේජ් එක ඩිලිවර් උන ගමංම එයා ඔන්ලයින් ආවා.... මුලිංම ආවේ මගේ රිප්ලයි එකට වොව් රිඇක්ට් එකක්... ඊලගට එයාගෙනුත් දිග කිස් පේලියක්... අද දවස පටංගත්තෙ එහෙමයි....
දවසම වගේ අපි චැට් කරා... නිපුන උදේ වරුවෙ හතර පස් පාරක් ආයෙ කෝල් කරත් මං කට් කරා... මට තේරුණා මං වටේ මටත් තේරෙන්නැති අමුතු මොකද්ද එකක් තියෙනවා කියලා...නිකං මාව වෙන කව්රුහරි කන්ට්‍රෝල් කරනවා වගේ එකක්... හවස් වෙනකොට නිපුනව මට අමතකම වෙලා හරිත් අයියා ඒ තැනට ඇවිත් වගේ මට දැනුනෙ... එයා කියන කතා වල මාරම ඇට්‍රෑක්ෂන් එකක් තිබ්බා… කොහොමහරි හවස හය වගේ වෙනකොට අපි හෙට ලෙක්චර් ඉවරවෙලා බීච් යන්න කතාකරගෙන.... හෙට නිපුනව මීට් වෙන්න යන්න හිටපු මං නිපුන නැති අමුතු සින්තටික් ඩ්‍රීම් එහෙක හරිත් අයියත් එක්ක මටත් නොතේරෙන ගමනක් පටං අරං තිබ්බා කියලා මට තේරුණා..

එයා
අදත් උදේ පාන්දරම නිතූ රණ්ඩුවක් පටං අරං.... හුග දවසකට පස්සෙ අපි හෙට මීට් වෙන්න හිටියෙ...එයා දැං හෙන කාලයක් තිස්සෙ මං ඉස්සර වගේ නෙවෙයි... මං වෙනස් කිය කිය අමුතු විකාරයක් කිය කිය හිටියෙ... ඇත්තටම මටත් තේරෙන්නෑ මොකද්ද වෙනස කියලා... මං ඉස්සර වගේම එයාට කෝල් කරනවා... පිස්සු කියව කියව ඉන්නවා... අනේ මංදා... එයා කියන විදිහට මං ඉස්සර ඒ ලෙවල් කාලෙ වගේ පැය විසිහතරම එයා එක්ක ටෙක්ස්ට් කර කර ඉන්න ඕනි... මං දවසක් හෙන වෙලාවක් අරං පැහැදිලි කරා එයාට, එයත් යුනි එකේ වැඩ මාත් මගේ ෆිල්මිං ඩිග්‍රී එකේ වැඩ... ඉතිං කොහොමද එහෙම පැය විසිහතරම ඉස්සර වගේ ටෙක්ස්ට් කරන්නේ කියලා.... ඒත් එයා ඒක තාම තේරුං අරං නෑ.... අනේ මංදා මටත් පිස්සු වගේ එයාගෙ මේ වැඩ එක්ක... ඔලුවත් අවුල් යනවා...
ඉතිං අද උදේ උන දේ බලන්නකෝ... මං කිව්වේ එයාට " බබා මට හෙට හතරට පොඩි ඩිස්කෂන් එකක් තියෙනවා තරංගනී එකේ... අපි හතර වෙනකං විහාරමහදේවි එකේ ඉදලා හතරට තරංගනී එකට එමු... ඔයාව මං ඩිස්කෂන් එක ඉවරවෙලා ගෙවල් ගාවිං ⁣ඩ්‍රොප් කරන්නං...." කියලා.
ඒක කිව්වා විතරයි, මං හෙට එන්න බෑ කිව්වා වගේ මල පැනලා... ෆෝන් කට් කරලා... මං ආයෙම කීප සැරයක් ගත්තත් එයා ආන්සර් කරෙත් නෑ... කට් කරා... මොන මගුලක්ද... මටත් එයාගෙ ඔය මල විකාර එපා වෙලා හිටියෙ දවස් ගාණක් තිස්සෙම... පොඩි දේත් හෙනට ලොකු කරං රණ්ඩු අල්ලන එක... මාත් ආයෙම කෝල් කරන්න යන්නෑ.. එයාට ඕන්නම් ගන්නැතැ... මටත් වැඩ තියෙනවා ඕන තරං.... එයා තරහා උන එක හොදයි.... යාළු වෙනකං මේ අවුරුද්දෙ ඔස්කාර් නොමිනේට් උන ෆිල්ම් ටික බලනවා කියලා හිතාන මං ලැප් එක ඔන් කරා....

ඔහු
වෙලාව රෑ නමය පහුවෙලා කියලා මං දැනගත්තේ රෑමා එහා කාමරේ එකාට සහෝදරයා එකේ අද එපිය ගැන හෙන ටෝක් එකක් දෙන සද්දෙ ඇහිච්ච හිංදා… මං හිටියෙ අපේ කාමරේ ඉන්න අනික් උං දෙන්නත් එක්ක අපේ රෑම් එකේ බැල්කනියට වෙලා… හොස්ටල් එකට පහලිං පේන මුහුදේ ඈත යන නැව් වල ලයිට් එලි බොදවෙලා වගේ ලාවට පෙනුනා.. මගේ එහා පැත්තෙ වාඩිවෙලා හිටපු ටිමා පුටුවෙං නැගිට්ට පාරට උගේ කකුලෙ වැදිලා අපි තුන්දෙනා හිස්කරපු ගැලරි බාගෙ බෝතලේ බිම පෙරලිලා ගියා..
“ ඒහ් බලාගෙන හු….” පොඩ්ඩක් වැදිලා හිටපු කස්සා කිව්වෙ මෙච්චරවෙලා පහලට කරං හිටපු ඔලුව උස්සලා..
“අඩෝ… මචං….” ටිමාගේ ඇස් හොයාගෙන ආවේ මාව..
“දැං මොකො උඹේ අර ජුන්නි ගේ වැඩේ… ඒක ගොඩදැම්මද උඹ..”
මගේ මූණේ තිබ්බ කුප්ප හිනාවෙං ඌ කතාව තේරුංගන්න ඇති… ඌ හයියෙං හිනාවෙලා කෙල පාරක් පල්ලෙහාට ගැහුවා..
“එතකොට මේකි උඹ ඇද්ද කීවෙනි එකද බං… බලපං හම්බෙන එකාටමයි දෙයියොත් හැමදාම දෙන්නෙ.. මෙහෙම ගියොත් අපි කෑල්ලක් ටෝක් කරන්න කලිං උඹ ගාවට ඇවිත් අහන්න වෙයි මේකි උඹ ඇද්ද එකක්ද බං කියලා..” ඌ ආයෙත් හයියෙං හිනාවෙලා ඉතුරුවෙලා තිබ්බ අන්තිම ස්විච් එකත් පත්තු කරා.
“ පිස්සුද බං එහෙම නෑ.. අනික ඒකිව තාම හරියට සෙට් උනෙත් නෑ.. හෙට පොඩ්ඩක් බීච් එක පැත්තෙ යන්න ඉන්නෙ…”
“ ආ… බීච් එකද… අනේ පලයං හු..ඔහොම කියලා තමා තෝ අරුංවත් එක්කං ගියෙ…”
මට හිනාගියා..
ඇත්තටම මට කෙල්ලෙක් හිටියා.. එයා හිටියෙ කැම්පස් එකේ නෙවෙයි… පිට කොක්කක්… අපි ඒවට කිව්වෙ එහෙම… ඒත් ඒ කතාව මෙච්චර අවුරුදු දෙකක් මේක ඇතුලෙ ඉදලත් එකෙක් දැනං හිටියෙ නෑ… ඒක මගේ ලක් එක වෙන්නැති සමහරවිට… මොන එකක්ද මංදා මට කැම්පස් ආපු දවසේ ඉදංම ⁣කෙල්ලොත් මාර විදිහට සෙට් උනා...ඒකත් සමහරවිට ලක් එක වෙන්නැති… ඒත් ඒ හැම එකක්ම ටෙම්පරි ලව් ස්ටෝරි විතරක්ම උනා… මට ඕනි උනේ සිරාවටම ෆන් එකක් විතරයි.. මං නිතූව මුලිංම දැක්ක දවසෙම එයාව සෙට් කරගන්නම ඕන උනා… ⁣කෙල්ලො හරි මෝඩයි.. මගේ ආදර්ශ පාඨය උනේ ඒක.. ඇත්තටම මට ඒක එහෙමයි කියන්නත් උදාහරණ සෑහෙන තිබ්බා…
“එහෙනං ඒකිටත් වැඩේ හරි නේ බං…”
ටිමාගෙ කුප්ප කතාවට කුප්ප හිනාවකිං උත්තර දෙන ගමං මං ස්විච් එකේ දුම් පාරක් ලුණු රහ හුලග එක්ක මික්ස් කරා.

No comments:

Post a Comment